Saturday, March 21, 2020

දෙවියන් වැනි මිනිසුන්

කොරෝනා කන්ෆර්ම් කරගන්න සිදු කරන 2019 Novel Corona Virus Real Time PCR Assayටෙස්ට් එක කරන්න RT-PCT මැෂින් එකකුයි Cool Centrifuge එකකුයි Class II Safety Cabinet එකකුයි තියෙනව නම් අපිටත් ඒ ටෙස්ට් එක මෙහේම කරන්න පුළුවන් කියල අපේ Consultant Microbiologist මැඩම් කිවුවා.. RT-PCR Analyzer එක ලක්‍ෂ 95ක් විතර වෙනවලු... අපේ රෝහල් සංවර්ධන කමිටුවෙ සාමාජිකයො ඒ උපකරණය රෝහලට එයාලගෙ මුදලින් පරිත්‍යාග කරන්න කැමැත්ත පල කරලා.. ඇත්තටම ආඩම්බරයක් සහ ලොකු ගෞරවයක් හිතේ ඇති උණා ඒ මිනිස්සු ගැන.. ඇත්තටම රුපියල් කෝටියකට කිට්ටු මුදලක් පිනට දෙන්න ඒ මිනිස්සු දන්දීම ප්‍රගුණ කරල ඇති කලින් ආත්ම වල.. මීට අවරුදු කිහිපයකට කලින් රුපියල් කෝටි තුනකට වැඩි අංග සම්පූර්ණ ළමා වාට්ටු සංකීර්ණයක් මේ රෝහල් සංවර්ධන කමිටුව විසින් ම අපිට පරිත්‍යාග කළා.. 

Microbiologist මැඩම් දන්න දන්න කම්පැනි කිහිපයකට ම කතා කරා මේ වෙන කොට ලංකාවෙ තොග තියෙන තැනක් හොයා ගන්න RT-PCR Analyzer එකක් ගන්න.. ඒත් හැමෝම කියන්නෙ ඒ මැෂින් එක මෙහේ ගෙනත් තියාගන්නෙ නෑ ලු.. Import & Supply ලු කරන්නෙ.. ඒත් මැඩම් ගේම අතාරින එකක් නෑ.. කොහොම හරි තැනක් හොයා ගනීවි.. එහෙම උණොත් අපිටම අපේ ලෙඩ්ඩුන් ගෙ 2019 Novel Corona Virus Real Time PCR Assayටෙස්ට් එක කරගන්න පුලුවන්.. 

ඒ අතරෙ රෝහල් කමිටුව තවත් රුපියල් ලක්‍ෂ 06කට වැඩි PPE kits 300ක් පරිත්‍යාග කරා..

ඒ වගේම ගොඩාක් ඇඟළුම් කර්මාන්ත ශාලා වලින් මහපු මාස්ක්, ගවුන් වගේ දේවල් අපිට කෝල් කරලා පරිත්‍යාග කරන තත්ත්වයක් තිබුණා.. ඒ වගේම තවත් සමහර ගුණවත් මිනිස්සු තමන්ට පුළුවන අයුරින් මාස්ක් වගේ දේවල් මහල පරිත්‍යාග කරා පෞද්ගලික මට්ටමින්.. 

ඇත්තටම මේ වගේ ව්‍යසනයක් වෙලාවෙදි රටවිරුවොන්ගෙන් කොටසක් නිරෝධායනය වෙන්න බෑ කියල පැනල ගිහින්, තවත් සමහරු රණවිරුවන්ගෙන් ගේම ඉල්ලන තත්ත්වයක් තියෙද්දි මම ඉහතින් සඳහන් කරපු නම් කි නොකී සියළු දෙනා අපිත් එක්ක අත්වැල් බැඳගත්ත.. 

අපි තනිවෙලා නෑ කියල දැනෙනවා.. සුන්දර මිනිස්සු වඳ වෙලා ම ගිහින් නෑ... අතරින් පතර හරි ඉන්නවා..

තවත් ඉදිරියට

දිනය : 2020-03-19

තවත් කොරෝනා රෝගීන් දෙන්නෙක් කන්ෆර්ම් උණා.. කලින් මනුස්සයගේ බිරිඳයි, දරුවයි ලු.. ඒ කියන්නෙ පැතිරෙන්න පටන් අරන්.. තව කී දෙනෙක් මේ වෙනකොට ඇවිදින වෛරස වාහකයන් වෙලා ද දන්නෙ නෑ.. මෙයාලා කොයි විදියට බෝ කරලද කියන එක මාර්තු 28, 29 වගේ වෙනකොට බලාගන්න පුලුවන් වෙයි කියලයි මගේ හිත කියන්නෙ.. ඒත් සාමාන්‍ය ජනතාවට අවදානම ගැන ලොකු අවබෝධයක් නැතුව වගෙයි.. මාස්ක් එකක් දාපු කෙනෙක් දැක්කෙත් කලාතුරකින්.. දැන් තමයි තිස්තුන් කොටියක් දෙවි වරු ඉන්නව නම් අපිට පිහිට වෙන්න ඕනි කාලේ...

හොස්පිටල් එකේ PPE (Personal Protective Equipment) තියෙන්නෙ තව දවසකට විතරයි ලු.. බොක්ක රත් උණා.. ඇයි දෙයියනේ PPE නැතුව වාට්ටුවෙ කෙනෙක් කොරෝනා සැක රෝගියෙක් ගාවට යන්නෙ කොහොමද.. Director Sir ටත් ඔළුව freeze වෙලා වගේ.. ඇයි දෙයියනේ ඒ මනුස්සය ගාවට නෙ හොස්පිටල් එකේ හැම ප්‍රශ්ණයක් ම එන්නෙ.. ඒ අස්සෙ දේශපාලන අධිකාරියයි, අමාත්‍යාංශෙ නිළධාරීනුයි මෙකි නොකී හැමෝම කොල් කර කර විස්තර අහනවා.. ඇත්තටම පවු.. කොහොම හරි දන්න කම්පැනි කිහිපයකටම කතා කර PPE ගැන අහන්න.. හැමෝම කියන්නෙ බඩු ඉවරයි කියල.. කොරෝනා නිසා බඩු සුද්ද වෙලා.. අන්තිමට බොහෝම හිතවත් (සහෝදරයෙක් වගේ) ඖෂධවේදී හිතවතෙකු මාර්ගයෙන් PPE 150ක් දෙන්න එකම එක කම්පැනියක් කැමති උණා.. ඒත් Coverall විතරයි.. ඒකත් මදැයි මේ වලාවෙ.. ඒකත් ගොඩාක් රෝහල් වලින් ඉල්ලනවලු.. ඉක්මන් නොකරොත් මේ 150ත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ.. Quotation call කර කර ඉන්න වෙලාවක් නෑ.. පස්සෙ ෆයිල් එක හදනව කියල හිතාගෙන වයිබර් කර ගත්ත ඉන්වොයිස් එක... පහුවෙනිද උදේම වවුචරේ හදල දාන්න හිතාගෙන.. මොකද cash on delivery.. පස්සෙ කාලෙක audit ල ඇවිත් මිළදී ගැනීම් කරල තියෙන විදිය වැරදියි කියල කිවුවොත් අම්ම මතක් කරල දෙනව කියල හිතාගත්ත..

කෙල්ලට කෝල් කරපු ගමන් අහන්නෙ තාත්ත කවද්ද එන්නෙ කියන එක තමයි.. අඬනවත් එක්ක.. එයා කියන කතා අහගෙන ඉන්දැද්දි පපුව කඩා වැටෙනව වගේ... ඒත් මොනව කරන්නද.. ගෙදර මිනිස්සුන්ට දෑවැද්ද දෙන්න බෑ නෙ.. ඇස් දෙකට කඳුලුත් ආවා.. කොහොම හරි අල්ලගෙන ඉන්නව කියල හිතා ගත්තා..


Tuesday, March 17, 2020

සුභාරංචිය

දිනය : 2020-03-17

බලාගෙන හිටපු ආරංචිය ආවා.. එක රෝගියෙක් පොසිටිව් වෙලා.. කකුල් දෙක සීතල වෙලා ගියා.. ඇත්තටම මාර ෂොක් එකක්.. වටේ පිටේ සහෝදර කාර්යය මණ්ඩලයේ හැමෝටම අවුල්.. 

ලෙඩාගෙ විස්තර ඇහුවම පුදුම තරහක් ආවේ.. මූ දැනගෙන ඉඳලත් දවසක් දෙකක් ඉඳල ආපු කතාවක් තමයි ආරංචි උණේ.. ඒ අතරෙ මුගෙ මළ ගෙයකුත් වෙලා ඒකෙ වැඩ ටිකත් කරල තමයි මූ ඇඩ්මිට් වෙන්න ඇවිත් තියෙන්නෙ.. ඒ කියන්නෙ දැන් වටේටම බෙදලා.. කාලකණ්නි.. 

ගත්තා වයිෆ්ට කෝල් එකක්.. කිවුවා සුභ පණිවිඩේ.. තාත්තටත් කෝල් එකක් අරන් සද්දයක් දැම්මා ගෙදරින් එලියට වත් බහින්න එපාය කියලා.. මොකද එයා ගෙදර ඉන්න කම්මැලි කමට ඇවිදිනවා.. ටවුන් යනවා.. තේ ඉඩමට යනවා (අක්කර ගාණක තේ වත්තක් නෙවෙයි)

ගෙදර යද්දි වයිෆ් වෙනම සබන් කෑල්ලකුයි බේසමකුයි එලියෙන් තියලා.. නාලා මිසක් ගෙට එන්න එපා කියලා.. ඉතිං රෑ 7.00ට විතර නෑවා.. 

කෙල්ලට කිවුවා අද තාත්ත ලඟට එන්න එපා කියලා.. කියපු ගමන් කෙල්ලගෙ මූණ මැලවුණා.. “අනේ තාත්තෙ, අද එතකොට මට සෙල්ලම් කරන්න වෙන්නෙ නැද්ද??“ මම කිවුවා අපි ඈතින් ඉඳන් කරන සෙල්ලමක් කරමු කියලා.. එතකොටයි ටිකක් ශේප් උණේ.. දෙන්නත් එක්ක බෝල ගැහුවා.. ඒත් කෙල්ලට ඕනි මගේ ලඟට එන්න.. ඇඟේ දැවටෙන්න.. ඒත් මොනව කරන්නද.. ලඟට ගන්නෙ නැතුව හිටියා.. කෙල්ල තාම දන්නෙ නෑ තාත්ත හෙට ඉඳන් ගෙදර එන්නෙ නෑ කියලා.. මතක් වෙනකොටත් පපුව පිච්චෙනවා.. ඒත් මොනාව කරන්නද...

රෑ වෙලා ඇඳුම් පැක් කරන්න ගත්තා.. බෙඩ් ෂීට් එකක්.. සරමක්.. ෂෝට් කිහිපයක්.. දිග කලිසම්.. ෂර්ට්.. මේස් බැනියම්.. ජොක්කු... තුවායක්.. ටී ෂර්ට්.. නෙට් එකක්.. බෑග් දෙකකට ඇඳුම්.. ටිකක් තෙතත් එක්ක.. මට හිතෙන්නෙ අප්‍රේල් 20 විතර වෙනකම් ඉන්න වෙයි කියලා.. 

ඒ අතරෙ වයිෆ් එක්ක පොඩි වලියකුත් ගියා.. ගෑණි ක්‍ෂණික කෝපෙ තියෙන ඩයල් එකක්.. මේකි කියනවා “උඹ ගෙද එන්නම එපා.. කොරෝනා හැදිල මැරියං.. මිණියවත් මෙහෙට ගෙන්නගන්නෙ නෑ“ කියලා.. සමහර විට ගෑණිටත් අවුල් ඇති මම නතර වෙන්න යන එකට.. ඒත් ඒයාලගෙම හොඳට නෙ මම ගෙදර නෑවිත් ඉන්නේ.. ඒත් හිත නම් රිදුණා ඒ වචන ටිකට ගොඩාක්..

පෙර සූදානම

ගෙදර තිබුණා ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක්... ඒකත් ඉවර වෙන්න කිට්ටුයි.. මේ යන විදියට ගෑස් ඉවරවෙයිද කියලත් බයයි.. කෝකටත් කියල ගත්තා ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් සල්ලි දීලා..  රු. 5,874.00 යි.. සල්ලි කියල බලන්න බෑ මේ වෙලාවේ.. ඒ වගේම ගත්තා හාල් පොල් වගේ වියළි ආහාර ද්‍රව්‍ය ටිකකුත්.. රු. 9,300.00යි.. මොකද ලංකාවෙ මිනිස්සු Panic Buying කරන්න ගත්තොත් බඩු.. 

ඒ වගේම මගේ අරමුණ රෝහලෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා උණු දවසේ ඉඳල ගෙදර නෑවිත් ඉන්න.. ප්‍රායෝගික ගැටළු ගොඩායි..
01. ගෙදර ඉන්නෙ වයිෆුයි දරුවයි විතරයි.. මගේ අම්මල තාත්තල එයාලව බලන්න එන්නෙ කලාතුරකින්.. මොකද නංගිගෙ දරුව බලාගන්න එක තමයි එයාලා කරන්නේ (මේක වෙනම කතාකරන්න ඕනි පවුල් ප්‍රශ්ණයක්).. වයිෆ්ගෙ තාත්ත කොළඹ.. එයාගෙ අම්මයි මල්ලියි විතරයි වයිෆ්ලගෙ ගෙදර ඉන්නෙ.. මල්ලිට කන්න උයන්න තියෙන නිසා ඒ අම්මටත් එන්න විදියක් නෑ..
02. කෙල්ල දඟයි.. වයිෆ්ට කන්ට්‍රොල් නෑ..
03. ගේ හරියට හදල නැති නිසා ආරක්‍ෂාව අඩුයි.. රෑට තනියම ඉන්න එක ගැටළුවක්..

ඒත් බැරිවෙලාවත් අපේ ගමේ මුලින්ම මට කොරෝනා හැදිලා, ඊට පස්සෙ ගමේ පැතිරිලා (මගෙන් බෝ නොවී වෙන එකෙක් වටේ ගිහිල්ලා හදාගෙන ආවත්) ගිහිල්ලා වයසක කෙනෙක් හරි මැරුණොත් ආයිත් ගමේ ඉන්නකම් කතන්දරේ අහන්න වෙනවා අර මනුස්සයව මරාගත්තෙ මූ මේ ලෙඩේ ගමට ගෙනල්ලා කියලා... 

ඉතිං හොඳම දේ තමයි ගෙදර මිනිස්සු අවදානමේ දාලා උණත් රෝහලේ නතරවෙන එක..ඒක කරන්න නම් ගෑණිටයි දරුවටයි කන්න බොන්න තියෙන්න ඕනි.. මාස්ක් තියෙන්න ඕනි.. හෑන්ඩ් රබ් තියෙන්න ඕනි.. අත්‍යවශ්‍ය බෙහෙත් තියෙන්න ඕනි..

ගත්තා Alco Rub bottles 02ක්.. රු. 1,580.00යි.. මල්ලිට කියල ගෙන්නගත්තා ඔක්සිපුරා ජාතියෙ මාස්ක් 02ක්.. රු. 500.00යි.. අත්‍යවශ්‍ය බෙහෙත් ටිකක් (Piriton, Panadol, Omeprosol, Diclofenac Na, Cefotaxime වගේ) ගත්තා.. 

දැන් ෂේප්..




ඇරඹුම

මම සෞඛ්‍ය සේවකයෙක්... වයස අවු. 05ක දුවෙක් ගේ පියෙක්.. පැතිරගෙන යන COVID-19 (Naval Corona) වෛරස අවදානමක් එක්ක ගෙවෙන ජීවිතේ ගැන මතක සටහනක් තියන්නයි අදහස.......